1921 දී එවකට ගාල්ල මහින්ද විද්‍යාලයාධිපති එෆ්. ගෝර්ඩන් පියර්ස්, ඩී.ටී.ඩබ්. රාජපක්‍ෂ රාළහාමි සහ ශ්‍රීමත් ආර්. ඒ. ඩී. ගුණවර්ධන මහා කුලතුංග මාතර බෞද්ධ සංගමය ආරම්භ කළහ​. 1923 වසරේ මැයි මස 1 වන දින මාතර මහ වීදියේ කුලියට ගත් ගොඩනැගිල්ලක මෙකී බෞද්ධ සංගමය විසින් පරාක්‍රමබාහු විද්‍යාලය නම් විදුහලක් ආරම්භ කරන ලදි. එම විද්‍යාලයේ ආදර්ශ පාඨය වූයේ මම සැබෑ බෞද්ධයෙක් වෙමි යන්නයි. පරාක්‍රමබාහු විද්‍යාලයේ ප්‍රථම සිසුවා වූයේ හේවාබෝවලගේ යසපාල නැමැත්තා ය. මඳ​ කලක් ඇවෑමෙන් ප්‍රදේශයේ දානපති වරයෙකු වූ සී. ඒ. ඕදිරිස් ද සිල්වා විසින් පරාක්‍රමබාහු විද්‍යාලය වෙත පරිත්‍යාග කරන්නට යෙදුනු, වර්තමානයේ පුරාවිද්‍යා උරුමයක් ලෙසින් සංරක්‍ෂිත සරම්මුදලි වලව්ව වෙතට​ පාසල ගෙනයන ලදී. එතැන් පටන් පරාක්‍රමබාහු විද්‍යාලය රාහුල විද්‍යාලය යන නමින් හඳුන්වයි.