D. Shan 
Class : 12 M

කලෙකිනි පැමිණියේ දක්නට ගම් පියස
මහ තනියමකි මහගෙදරේ සෙවණ යට
මා මෙන් එයද වැහැරී ගිය බව දකින
හිත හඩනවා රහසේ ලොව නිසල කොට

නේක වර්ණ මල් ගැවසුණු ගෙයි මිදුල
වල් තණ හොරා ගෙන අද මට නොකියාම
තණපත් මැදින් හෙමිහිට ඉහළට නගින
කටු පඳුරකි අද මිඳුලේ තනි රකින

මහගෙයි දෙසින් හමනා ඉමිහිරි සුවඳ
නගනා ලිපේ ගින්දර අද නිවිලාය
ගෙදර බුදුන් අම්මා මට නොකියාම
ගමනක් ගොසින් ආපසු ඇය නොඑන්නම

අප්පච්චි නුඹත් නැහැනෙ මහ ගෙදර
පුතේ කියා නගනා හැඩ අද කොයිද
නුඹ කියනා කවි සීපද අසන්නට
වෙනදා එන මාල ගිරව් නැත මෙදින

අයියෙ කියා නිතරම මා ලහුබඳින
නැගණිය නුඹත් ඉගිල්ලිලා අද දුරක
මහගෙයි පුරා රැව්දෙන නුඹ සිනා හඬ
මතකෙට නැගෙන විට කඳුළකි දෙනෙත් අග

මහගෙයි බැඳුණු මතකය අද රිදවනවා
ආපසු නොඑන කාලය ගැන වද වෙනවා
සොඳුරු මතක සිතුවම් අද වියැකෙනවා
ගෙයි දොරකඩ උලලේනෙකි හඬ නගනා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × three =

Post comment